Sunday, January 27, 2013

මට සුන්දරයි ඒ මතකය හැම දාට

මේ වගෙ හොදට හඳ පායල ඇති දාට...
රහසෙම කොටු පැන්න මතකයි මම රෑට...
දවසක් දෙකක් අහුවුවත් මා පියට...
මට සුන්දරයි ඒ මතකය හැම දාට...

කීවත් නොකීවත් ඇත්තකි සැමට...
උඹ නැති දාට හඳ පායා කුමට...
වැඩි දුක දැනෙනව නුඹ අන් සතු උනු දාට...
හෙට යන නිසා නුඹ වින්දඹු ගෙයට...

මතකද දිනක් මට කිව්වා ලං වීලා...
දරුවන් වදන්නට බැරි බව බය වීලා...
උඹ හිටියොතින් මට එ ඇති කියලා...
කීවා එදා මම හැගුමෙන් බර වීලා...

නැති කර ගන්න බෑ දුක මට කවි ලියලා...
ඇතිකරගන්න වෙයි කඳුලැල් මාලා...
සතුටින් ඔබේ ලොව ඔබ කුමරියක වෙලා...
හිටපන් නගේ නොපෙනෙන ඇතක පිපිලා...

Thursday, January 24, 2013

දේශ්ගේ නිරුවත නැමති තිත්ත ඇත්ත....

මම, එහෙම නැත්නම් දේශ් කියන්නෙ කවුද???????



බ්ලොග් කියවන්න ගොඩක් කැමති මම, බ්ලොග් පිටුවක් හදා ගත්තෙ බ්ලොග් ලියන්න නම් නෙමෙයි. මං ආශාවෙන් කියවන බ්ලොග් වලට කමෙන්ට් කරන්න බ්ලොගර් ගිනුමක් ඕන කියල මට හිතුන. ඉතින් ඒ ගිනුම හදනකොට ඔන්න ඔහේ බ්ලොග් පිටුවකුත් හදනව කියල හැදුව. එහෙම හදපු මගේ බ්ලොග් සයිට් එකට පස්සෙන් පන්නන සාමාජිකයො එකොලොස්දෙනෙක්(දැන් නම් වැඩි වෙලා. මේක මෙච්චර කාලයක් නෝට් වල තිබිල) ඉන්නව කියල දැක්කහම මටත් මොනවාහරි දෙයක් කුරුටුගාන්න හිතෙනව. ඉතින් මාගැනම සටහනක් තියන්න හිතුන. මගෙ කමෙන්ට් දැකල බනින්න හරි මං කවුද කියල කව්රුහරි හෙව්වොත් එයාට මං ගැන මේකෙන් දැනගන්න පුලුවන් වෙයි.

මං ඉපදුනේ 1989 අවුරුද්දෙ. අවිස්සාවෙල්ල රෝහලේ, ඒ කිතුල්ගල ලස්සනම ලස්සන ගමක(ඉස්සර හොදේ) මව් පිය උරුමයෙන් කිසිවක් නොලැබ, හිතහොද මිනිසෙකුගෙන් ලැබුන කුඩා බිම්කඩක මැටිගසා තැනුව ගේකාමරයක දිවි ගෙවූ, යාබදව තැනුව තේ කඩ පොඩ්ඩකින් ජීවිකාව ගැටගැසූ අහිංසක මව්පිය යුවලකගේ දෙවෙනි පුතු ලෙසයි.

දුප්පත් අපි ගොඩාක් අමාරුවෙන් ජීවිතේ ගැටගහගත්ත. අම්ම තාත්ත බඩගින්නෙ ඉදල අයියටයි, මටයි කන්න දුන්න. චිත්රපටිවල තියනව වගේ කතාවක් උනත්, ඇත්තටම එහෙම වෙනව මට මතකයි. ඒත් එතකොට මං පොඩි නිසා ඒ ගැන එච්චරටම දැනුනෙ නෑ. අනික අම්මල එහෙම කලේ අපිට නොදැනෙන්න. මං මොනතරම් පව් කාරයෙක් උනත් මේලෝව හොදම අම්ම්යි, තාත්තයි මට ලැබුන එක ගැන මට සතුටුයි. එයාල හරිම උත්සහවන්තයි. ඒ නිසාම එයාල උත්සහයෙන් දියුනු උනා. රෑ දවල් නොබලා මහන්සි උනා. මට ඒ උත්සහයට හොද උත්තරයක් වෙන්න බැරි උන එකත්,මට එහෙම උත්සහවන්තයෙක් වෙන්න බැරි උන එකත් ගැන මං අදටත් පසුතැවෙනව.

මං ටික ටික ලොකු උනා, පෙරපාසැල් යන කාලය උදා උනා. අපේ ගෙවල් ලගම තිබුන පෙරපාසලක්. මාව ඒකට ඇතුලත් කලා. ඒත් දවස් දෙකකින් පස්සෙ මගෙ ටිකිරි මොලේට එක වැඩක් නෑ කියල හිතුන. අම්ම ගෙදරදි ගොඩක් දේවල් උගන්වල තිබුන නිසා මට ඒකෙ ගන්න දේයක් තිබුනෙ නෑ. අම්ම මට බලපෑම් කලෙත් නෑ. ඒ ගමන එහෙමම නතර උනා.

අපේ අයියා මට වඩා ඖරුදු 5ක් වැඩිමල්. ඉතින් එයා වැලි සෙල්ලම් කරනකොට මං නෑ. මන් වැලි සෙල්ලම් කරරනකොට එයා ඔට්ටු සෙල්ලම් කරනව. මන් ඔට්ටු සෙල්ලම් කරන වයසෙදි එයා ක්‍රිරිකට් ගහනවා. මන් ක්‍රිරිකට් ගහන කාලෙදි එයා සෙල්ලම් නවත්තල. ඒ නිස අපි දෙන්න එකට සෙල්ලම් කරපු අවස්ථා බොහොම අඩුයි. මං නිතරම තනි උනා. අදටත් වැඩියෙන් තනිකමට තමයි කැමති.

කිතුල්ගල පිරිමි පාසලට මාව 1වසරට ඇතුලත් කලා. 2වසරෙන් පස්සෙ 3වසරට මාව යටියන්තොට ජාතික පාසලට ඇතුලත් කලා. අම්මලට මොනතරම් අමාරුකම් තිබුනත් අපිට හොදට උගන්වන හීනයක් එයාලගෙ හිත් වල තිබුන. 5වසරෙ ශිෂශ්‍යත්ව විභාගය සමත් වෙලා මං රුවන්වැල්ල ජාතික පාසලට ගියා. එහෙදි මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා. ඒ හොද විදිහට නම් නෙමෙයි.

මේ වෙනකොට අපේ කඩ පොඩ්ඩ ටිකක් දියුනු වෙලා තිබුන. හැමදමත් වගේ සතුටින් හිටිය. සුනාමියට කලින් මුහුද ඈත් උනා වගේ අපි ගොඩක් හොදට ජීවත් උනා.

නොහිතපු වෙලාවක, නොහිතපු විදිහට ආපු සුනාමියක් වගේ එකකින් ආයෙමත් අපි අසරණ උනා. අපේ කඩේ පැත්තකුත් එක්ක ගල් බැම්මක් ගැලවිලා ගියෙ ටිකක් ලොකු වැස්සකට. කඩේ නැවත හදා ගන්න වත් අපි සල්ලි ඉතුරු කරල තිබුනෙ නෑ. ණයට සල්ලි ගත්ත, ගිනි පොලියටත් ගත්ත. ඒත් කඩේ හරියට හදගන්න බැරි උනා (තාමත් එහෙමයි) ඒත් අපි ආයෙමත් මුල ඉදන් පටන්ගත්ත. කාලය ගත උනා.

මම කවදාවත් විභාගෙකට පාඩම් කරල නෑ. ඉගෙනගෙන අහවල් ජොබ් එක කරනව කියල හීන තිබුනෙත් නෑ. කිසිම දෙයකට ආශාවක් තිබුනෙත් නෑ. ඒත් අම්මල මොන ප්‍රශ්න තිබුනත් මට අවශ්‍ය හැම දෙයක්ම අරන් දුන්න. එයාලගෙ කදුලු වලට උත්තරයක් විදිහටද කොහෙද මං සාමාන්‍යපෙළ පාස් උනා. මට අදටත් ඒ ප්‍රතිපල විශ්වාස නෑ.

12 වසරෙදි මගේ ජීවිතය තවත් වෙනස් උනා. බොක්කෙන්ම ලව් කරන්න පටන්ගත්ත. ගෑල්ලමය නිසා නොවුනත් කොහොම හරි මං අධ්‍යාපනයෙන් ඈත් උනා. අවසානෙදි උසස්පෙළ ඇනගත්ත. ඒත් මට ඒක දැනුනෙවත් නෑ. ගෙදරින් කරා ආයෙමත් විභාගෙ කරන්න කියල. ඒත් මං හිතුවක්කාර උනා.

ගෙදර තිබුන සල්ලි ප්‍රශ්නත් එක්ක මං ජොබ් එකක් ගැන හිතුව. ලේසියටත් පහසුවටත් ගාමන්ට් එකක වැඩට ගියා. එතන මට ඉක්මනින්ම ඉදිරියට එන්න පුලුවන් උනා පුංචිම කාලෙකින්. ඒත් ඒ ජීවිතේට මට කැමති වෙන්න බැරි උනා. වගකීම් වැඩි වෙනකොට මං හෙම්බත් උනා. අර ගෑල්ලමයත් ඒකට එච්චර කැමති උනේ නෑ ඒකට. ඒ ජොබ් එක මාස තුන හතරකට සීමා උනා.

දෙවෙනි රස්සාව විදිහට සේල්ස් රෙප් කෙනෙක් විදිහට පුංචි කොම්පැනියකට බැදුන. ඒක ලොකල් පී.වී.සී බිස්නස් එකක්. රට වටේම ගියා. ගොඩක් දේවල් ඉගෙනගත්ත. විවිද පැති වල විවිද මිනිස්සු අදුනගත්ත. සමාජය තේරුම්ගත්ත. මං කවදාවත් නාස්තිකාරයෙක් උනේ නෑ. 4න් එකට පොඩි ගානක් වියදම් උනා,ඉතුරු හැම සතයක්ම ගෙදරට දුන්න. පොඩිකාලෙ ඉස්කොලෙ යනකොටත් අම්ම දුන්න සල්ලි මං ඉතුරු කලා. සමහර දවසට මං සල්ලි එපා කියල අඩල තියනව. අම්ම අදටත් ඒව මතක් කරනව.
කොහොමින් හරි පී.වී.සි වලට SLS ඕන කියල නීතියක් ආව. අපේ බිස්නස් අඩු උනා. ව්‍යාපාරය පාඩුලබන්න පටන්ගත්ත. මට ලැබෙන පඩියත් ටික ටික පරක්කු උනා. මං පඩි නැතුවත් වැඩ කලා. අවසානෙ මං ජොබ් එකෙන් අයින් උනා. දැනටත් සැලකියයුතු ගානක් මට ගන්න තියනව එතනින්(මං හිතන්නෙ මාස තුනක පඩියටත් වැඩී)

පස්සෙ මං දැන් කරන රස්සාවට ආව. ඒ ගැන වෙනම ලියන්නම්.

තවත් එකක් ඉතුරුයි. අර ගෑල්ළමය. ඇත්තටම මං එයාට ආදරේ කලාට වඩා එයා මට ආදරේ කලා. මං ඒක අදත් කියනව. අපි ආදරේ උපරිමයෙන් වින්දා. එතනින් එහාට ගිය දේවලුත් අන්තිම තැනට එනකල් වින්දා. ඒ ගැනත් වෙනම ලියන්නම්. දැනට මෙහෙම කියන්නම්. අවුරුදු 5ක් විතර මාත් එක්ක ආදරෙන් හිටපු. අපේ දෙරත් ආව ගිය, අපේ අම්ම මටත් වැඩියෙන් ආදරය කරපු එයා... බොහොම පොඩි කාලෙකින් වෙනස් වෙලා 2012/04/05 දින වෙන තුරුලකට ගියා.
2013/01/27 එනම් ගෙට්ටුව තියන දවසෙ ඇගේ කුළුදුල් දරුව ලැබෙන්න රොහලේ නවතිනව කියල කොල් කරල කිව්ව.

ඔන්න ඔහොමලු උනා කියන්නේ.........

දැන් හැම දෙයක්ම කිව්ව. තවත් දැනගන්න ඕන දෙයක් තියනව නම් අහපල්ල. මට හංගන්න දෙයක් නෑ බොල..................

Tuesday, January 22, 2013

හොරු අල්ලන සාස්තරේ

මුලින්ම කියන්ට ඕන බොලාලගෙ විචාර වලට පිලිතුරු දෙන්න පරක්කු වෙන එක ගැන. ගැටලුව තියෙන්නෙ දේශ් හැම මගුලක්ම කරන්නෙ දුකෙන්. දුකෙන් කිව්වෙ 4න් එකෙන්. පෝස්ට් එකක් දානව කියන්නෙ වහ කාල හොස්පිටල් එකේ ඉන්නවට වඩා අමාරු වැඩක්. මුලින්ම නෝට් වල සිංග්ලිශ් වලින් කොටනව. එතනින් ඒක කපල සිංග්ලිශ්4මොබයිල් කියන ඇප් එකේ අලවනව. ඒකෙන් ඒ ටික සිංහල යුනිකොඩ් වලට පෙරලනව. හත්වලාමෙ එතකොට මට පේන්නෙ කොටු ටිකක්. මගෙ දුකේ සින්හල යුනිකෝඩ් පේන්නෙ නෑ. කොටල තියන අකුරු වල වැරදි හදන්න ඒ ටික මගෙම ඊ තැපෑලට යවන්න වෙනව. ඔපෙරා මිනියෙන් ගිහින් ඒකෙ වැරදි තැන් බලල ආයෙමත් ඇවිත් හදනව. අහිංසක 4න් එකට මං දෙන වදයක්. මේ ඔක්කොම කිව්වෙ නිදහසට කරුනු. තේරුම්ගන්ට හොදේ.

දැන් තියෙන්නෙ දෙවෙනි ගැටලුව. කවුරුහරි කිව්ව කතාවක් කොහොමෙයි රස අඩු නොවෙන්න කියන්නෙ. මේක අපේ අප්පොච්ච කිව්ව කතාවක්. අප්පොච්ච කිව්වෙ ඔරිමජිනල් එක්කෙනා නෙමෙයි. එයත් හොස්පිටල් එකේ වැඩකරන කෙනෙක්. කතන්දරකාරයෙක්. මං ඉතින් දවස තිස්සෙ මිනිහගෙ කතන්දර අහගෙන තමයි ඉන්නෙ. අප්පච්චි කියන නම රෙජිස්ටර් කරේ මමම තමා. දැන් හැමෝම කියන්නෙ අප්පච්චි. මං මෙහෙම කරන්නම් ලුයන්න අගට දාල කියන්නෙ නැතුව. අප්පච්චිගෙ වචන වලින්ම හොරු අල්ලපු හැටි කියන්නම්.

මේක සිද්දවෙලා තියෙන්නෙ එකදාස් නමසිය බරගනන්වල. නම් ගම් වෙනස් වෙයි.
දැන් මං අප්පච්චි.

අපේ ගමේ හිටිය නෑදෑකමට මාම කෙනෙක් වෙන මනුස්සයෙක්. නම සිරිසේන. මිනිහ ටිකක් විතර යන්තර මන්තර වැඩ කරනව. හැබැයි ඉතින් මිනිහ නොදන්න දෙයක් උනත් දන්න විදිහට තමයි ඉන්නෙ. දවසක් මිනිහගෙ දැණුම ගැන කතාකරනකොට එකෙක් මිනිහව නෝන්ඩි කලා. මිනිහ කෙලින්ම කිව්ව රුපියල් 500ක් ඔට්ටු දාපන් මං උඹව ඔහොමම පුටුවෙ අලවනව කියල. මොන ඔට්ටුද බැරිවෙලාවත් ඇත්තටම ඇලෙව්වොත් කියල බයටද කොහෙද මිනිහට දිනුම දුන්න. එහෙම තමයි මිනිහ. මොන ජාතියෙන් හරි දිනනව. මිනිහ දන්න දේවලුත් තිබුන. ඒත් කවදාවත් නරක වැඩ නම් කලේ නෑ.

අපි දෙන්න ටික කාලයක් එක තැන වැඩකලා. තව අපේ ගමේ කොල්ලෙකුත් එතන වැඩකලා. සිරිසේන මාමටත් එතන හොද තත්වයක් තිබුන. මිනිහ කොහොමත් මිනිස්සු අල්ලනවනෙ. දවසක් පඩි දවසෙ මරු වැඩක් උනා. අර අපේ ගමේ කොල්ලගෙ පඩි පැකට් එක නැති උනා. පඩි දුන්න ගමන්මයි. කවුරු හරි ඉස්සුව. දැන් එතන ගිනි විජ්ජුම්බරයක්. සිරිසේන මාම තැනට සුදුසු නුවණ තියන පොර. මිනිහ ඉදිරිපත්වුනා හොරා අල්ලන්න.
හරි උඹට පඩි පැකට් එක හොයල දෙන්නම්. මෙතන ඉන්න ඔක්කොම යන්න ඕන අර හෝල් එකට.
කට්ටියම හෝල් එකට දැම්ම. අනිවාර්යෙන්ම ගත්ත කෙනත් එතන ඉන්න ඕන. කවුරුත් එලියට ගියෙත් නැහැනෙ.
සිරිසේන මාම අර කොල්ලට කතා කලා.
කුමාර උඹ මෙ බඩු ටික අරන් වරෙන් ඉක්මනට.

මොනවද බඩු,
කුකුලෙක්
නූල් බෝලයක්
අමු කහ කෑල්ලක්
දුම්මල
පන්දමක්
තෙල් බෝතලයක්


පැයක් විතර යනකොට බඩු ටිකත් ලෑස්ති උනා.
සිරිසේන මාම හෝල් එකේ මුල්ලකට ගිහින් වැඩේ පටන්ගත්ත. මොනවදෝ මතුර මතුර වැඩ. කහ කෑල්ල තලල කුකුලගෙ කකුල් වල ගෑව. නූල් බෝලෙන් කුකුලට ඇවිදින්න බැරි වෙන්න කකුල් දෙකත් ගැටගැහුව. දන් මතුරනව.පන්දමත් පත්තුකරල දුම්මල ගගහ මතුරනව. ඒ අස්සෙ තෙල් බෝතලෙන් තෙල් අරගෙන කුකුලගෙ ඇඟ පුරාම ගානව. ඔහොම ගාල ගාල කුකුලගෙ පිට පුරාම තෙල් බේරෙනව. දැන් වැඩේ අවසන් මොහොතට ආව. කුකුල ගෙනත් තිබ්බ හෝල් එකේ දොරට ටිකක් එහයින්. තියල කිව්ව. දැන් උඹල එක එකා ඇවිත් මේ කුකුලගෙ පිට අතගාල එලියට පලයල්ල. සල්ලි හොරකම්කරපු එකා කුකුලගෙ පිට අතගානකොට කුකුල හඩලයි.
එහෙම කියල මිනිහ එලියට බැස්ස.

දැන් එක එකා කුකුලගෙ පිට අතගගා එලියට යනව. එලියෙ මොකද වෙන්නෙ කියල ඇතුලෙ ඉන්න උන් දන්නෙ නෑ. ඔහොම ටිකදෙනෙක් යනකොට සිරිසේන මාම එකෙක්ගෙ අතින් අල්ලගෙන ඇදගෙන ආව ඇතුලට. මෙන්න මූ තමයි. අරන් තෙයෙන්නෙ කියාගෙන.
හැමෝම සැක කරපු එකා තමයි බඩු අරන් තෙයෙන්නෙ. පස්සෙ හන්ගපු තැනින් පඩි පැකට් එක අරන් දුන්න.

දැන් දේශ් කතා කරන්නෙ. බොලාලට හිතාගන්න පුලුවන්යැ හොරා අල්ලපු විදිහ.

සිසිසේන මාම එලියට වෙලා එන එන එකාගෙ අත් දෙක බල බල ඉදල තියෙන්නෙ.

තේරුනේ නැත්නම් හිතල බලපල්ලකෝ.
හිතාගන්න බැරිම උනොත් කියන්ට.

ප:ලි

මහා ලොකු ගැටලු, හිතුවොත් පහසුවෙන් විසදන්න්න පුලුවන්. ඕන වෙන්නෙ තැනට සුදුසු ණුවන

Saturday, January 19, 2013

ඇගේ මරණය


මං කිලිනොච්චි ගිහින් නුවර ආවෙ ගිය මාසෙ 8 වෙනිද, ඇවිත් දවස් 3කට විතර පස්සෙ, කලින්ම අදුරවැටුන දවසක හවස හයයි තිහට විතර මගෙ පුද්ගලික දුරකතනයට නාදුනන අංකයකින් ඇමතුමක් ආව. හැමදාම වගේ කෝල් එනවට මගෙ හිතේ තියෙන්නෙ අකමැත්තක් නිසා කම්මැලිකමෙන්ම පෝන් එක කනේ තියාගත්ත. එහාපැත්තෙන් ඇහුනෙ ගෑල්ලමයෙක්ගෙ කටහඩක්.

හෙලෝ මල්ලී......

ඔව් කියන්න.....

මල්ලි මං අහවල් නැන්දගෙ දුව කතාකරන්නෙ....

මං ඒ නැන්දව දන්නව,ඒත් ජීවිත කාලෙටම වචන 20ක් විතර තමයි කතා කරල තියෙන්නෙ. එයා අපේ ගමට යන පාරෙ පොඩි සිල්ලර කඩයක් කරගෙන ජීවත් උනේ. කතා කරල නැති උනත් මං ඉස්කෝලෙ ගිහින් හැමදාමත් පයින්ම එන පාර අයිනෙ නැන්දගෙ කඩේ තිබුන නිසා නැන්ද මටත්, මං නැන්දටත් හැමදාමත් හිනා වෙනව. නැන්දගෙ මහත්තය ගැන නම් මං අද වෙනතුරු දන්නෙ නෑ. හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඒත් ගෑල්ලමයි දෙන්නෙක් එක්ක තනියම ජීවත් වෙන බව නම් දැනගෙන හිටිය. මෙ කතා කරන්නෙ ඒ නැන්දගෙ දැකල තිබුනත් කවදාවත් කතා කරල නැති දුව.

ඔව් අක්ක කියන්න....

මල්ලි, ඔයාලගෙ තාත්ත නම්බර් එක දුන්නෙ. අනේ මල්ලි අපේ අම්ම නවත්තල ඉන්නව 51 වෝඩ් එකේ. හවස කවුරුත් බලන්න ආවෙ නෑ. මල්ලිට බැරිද පොඩ්ඩක් ගිහින් බලන්න.....
අනේ මල්ලි ලොකු උදව්වක්....

හරි අක්කෙ මං බලල කෝල් එකක් දෙන්නම්....

ඇමතුම එතනින් අවසන් උනා. මං 7ට විතර 51 වාට්ටුව පැත්තට හෙමින් හෙමින් ගියා. අවේලාවෙ වාට්ටු වලට යන්න තියන අකමැත්තත් එක්ක. ගමනට වැඩි වේගයක් එකතු කරගන්න මට බැරි උනා. ඒත් අසරන උන වෙලාවක උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටින නිසාම මං ගියා. ගෑනුළමයි දෙන්නෙක් එක්ක තනි උන අම්ම කෙනෙක් නිසා මට ඒ නැන්දට උපකාරයක් කරන්නම ඕන කියල හිතුන. ලොකු අක්ක නම් වසර කිහිපයකට පෙර පොලිසියට බැදුන බව දැනගත්ත. අනිත් අක්කත් මොකක් හරි රස්සාවක් කලා.

සිතුවිලි අස්සෙන් මං 51ට ආව. 51 නුපුරුදු තැනක් නොවුනත් සිස්ට හැර වැඩි හිතවත්කමක් කාත් එක්කවත් තිබුනෙ නෑ. රැකියාව පැත්තෙන් නම් සිස්ට එක්ක එකතු වෙලා එක අවස්ථාවක නර්ස්ල කිහිප දෙනෙකුටම දොස් කියපු නිසා නර්ස්ල සමහරවිට මාත් එක්ක අමනාපයෙන් ඉන්නව වෙන්නත් පුලුවන්. නර්ස් කෙනෙක් ලගට ගිහින් මුලින්ම මං කව්ද කියල අදුන්වල,මිස් මගෙ නැන්ද නවත්තල ඉන්නව මේ වෝඩ් එකේ. මට එයාට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද.
අවේලාවෙ ගැහැනු වාට්ටුවක හැසිරෙන්න ඕන විදිහට මං කතා කරන්න උත්සහ කලා.
නර්ස් නැන්දගෙ නම අහගෙන ඉන්න ඇදත් පෙන්නල එයාගෙ වැඩකට ගියා.

ඒ නැන්ද ඒ වෙනකොටත් අඩනින්දක හිටියෙ. ඔලුවෙ ලොකු ප්ලාස්ටර් එක සැත්කමක් කරපු බව හිතන්න හේතුවක් උනා. මං ලගට ගිහාම නැන්ද මාව අදුරගත්ත. එතකොට එයාට නැගිටින්න බැරි උනත් හොඳට කතා කලා. අවුරුදු ගානක් තිස්සෙ මාව ගමේදි වැඩිය දකින්න නොලැබුනත් එයාට මාව මතක තිබ්බ. පුතා මේ දවස්වල යාපනේ කියල දුවට තාත්ත කියල තිබුන..... නැන්ද තමන්ගෙ අසනීපෙ ගැනත් මට මුල ඉදන් අගටම කිව්ව. ඉස්සර මං ඉස්කෝලෙ යනකොට දැක්ක ගැහැනියගෙ ශක්තිය ඇඟෙ නැතත්, වචන වල තිබුන.

නැන්දට මොනවද ඕන. කඩෙන් මොනව හරි ගෙනද්දෙන්නද?
හිස්අතින්ම ලෙඩෙක් බලන්න ආපු ලැජ්ජාව වහගන්නද මංද මං එහෙම ඇහුවෙ.

අනේ මොනව ගේන්නද පුතේ ආව එකම ඇති

නැන්ද දිවෙන් වේලුන තොල් තෙත් කරගෙන පුලුවන් නම් මට තේකක් හදල දෙන්න කියල කිව්වෙ පිපාසය උහුලගන්න බැරිම නිසා වෙන්නැති.

තේකක් හදල, නිමල චුට්ට චුට්ට පොවනකොට මට අම්මව මතක් උනා

තේක බීල අනේ පිංසිද්දවෙනව පුතේ කියනකොට, ඇස් වලට නාවත් හිතට කදුලු ආව. මං නැන්දගෙන් සමුඅරන් නර්ස්ටත් ස්තුති කියල එලියට ආවේ අර අක්කට ඇමතුමක් ගන්න ගමන්මයි.

අනේ මල්ලි අපි උදේ ආවහම දවලුත් අම්මව බලලයි එන්නෙ. හවස බලන්න හිටියොතින් ආපහු එන්න බස් නෑ. උදේටත් පාන්දර දෙකට තුනට ගෙදරින් එන්නෙ.

අක්ක කිව්වත් නැතත් මං ඒව දන්න නිසා, මගේ තීරනේ මං කිව්ව.

අක්කල උදේටයි දවල්ටයි ඇවිත් බලන්න, හැමදාම හවසට මං යන්නම්.

එදා ඉදන් මාසයක් විතරම නොවරදවාම මං ඒ නැන්ද බලන්න ගියා. පුලුවන්වුනු දවස් වල දවල්ටත් ගියා. මං උදේ පාන්දර 9ට විතර නැගිටින නිසා උදේට නම් බැරි උනා. අක්කලට හැමදාමත් විස්තර කිව්වා. යොගට් වලට, කඩෙන් ගේන සුප් වලට නැන්ද කැමති නිසා මං නිතරම ඒව ගිහින්දුන්න. අක්කල කොල් කරල හැමදාම කිව්වෙ මල්ලි සල්ලි වියදම් කරල මොනවත් ගෙනියන්න එපා කියල. නැන්දත් එහෙමම කිව්ව.අදටත් හිත රිද්දන තවත් වචනයක් කිව්ව. ඒ තමයි මං හොදවෙලා ගිහාම ** අයියට මේව ගෙවනව කියල. ඒ අපේ තාත්තට මං වියදම් කරපුව ගෙවනව කියලයි කිව්වෙ.
51 කියන්නෙ ස්නායු සම්බන්ද වාට්ටුවන්. මේකට එන ලෙඩ්ඩු ගැන මං දන්න නිසාත්. තවත් හිතට දැනුන වචන කරන්න බැරි හැගීමක් නිසාත් මං නිතරම නැන්ද කැමති දේවල්ම දෙන්න උත්සහ කළා.

කාලය ගෙවිල ගියා. නැන්ද තනියම වාඩිවෙන්න පුලුවන් තත්වයට සුව උනා. අපේ බාප්පගෙ දුවත් හෙද පුහුනුවේ ඒ වාට්ටුවෙම වැඩකලා.එයත් ගොඩක් උදව් කළා.

දින කිහිපයකට පෙර නැන්දට උන හැදුන.කෑම බීම වර්ජනය කළා. දියර ආහාර දෙන්න නහයෙන් දාන බටය මං බලාඉද්දිම එයා ඇදල දැම්ම. ඊලග දවසෙ මං යනකොට නැන්දගෙ අත්දෙක ගැටගහල තිබුන. එයා අසිහියෙන් දැගලුව. මට යමක් සිදුවීමට යන බව දැනුනත් කලහැකි දෙයක් තිබුනෙ නෑ. පසුදා ඇයව එම වාට්ටුවේම දැඩිසත්කාර ලබාදෙන කොටසට ඇතුල් කලා. එදා රාත්‍රිය ඇය මෙලොව ගතකල අවසන් රැය උනා. පසුදා උදෑසන නැන්දා මෙලොව හැරගොස් තිබුනා.

ඕනෑ තරම් අවස්ථාව තිබුනත් ඇයගේ මළසිරුර බැලීම මා හිතාමතාම මගහැරියා.

 දින තුනක් ගතවන විටත්, ඇය ජීවිතයේ අවසන් දින කිහිපය මට මෙතරම් සමීප වීමත්, තවමත් ඇය මියගිය බව මට ඇතැම් වෙලාවල් වලදී අමතක වීමත් තේරුම්ගත නොහැකිව මේ සටහන ලියා තැබීමට සිතුවා

Thursday, January 10, 2013

රිසානා නිදහස් කරයි....

දුරකතනයට නොමිලේ ලැබෙන නිව්ස් එකකින් දැනගත්තෙ, රිසාන නිදහස් කරලලු නේද?

දෙතුන් වතාවක් ලෝඩ් නොවුනු නිසා මලම පැන බ්ලොගර් වෙත එන විට රිසානා හැර අන් කිසිවක් කියවීමට නැතිතරම් විය. ඒ නිසා ඒ පිලිබද වූ සියලු පෝස්ටු මා කියවන්නට ඇත. පෝස්ට් වලින් පමණක් නෝව කොමෙන්ට්ස් වලින්ද ඒ පිලිබදව විවිද මතවාද ගොඩනගා තිබුනි. ජාතිවාදය, දේශපාලනය, ආගම්වාදය කැටිවූ සියල්ල කියවීමෙන් ඔල්මොරොන්දම්වූ මටද ඒ පිලිබද සටහනක් තැබීමට සිත්වීම, මටම අදහාගත නොහැකි පුදුම වෙනසකි.

කෙසේ වෙතත් මට නම් හැඟෙන්නේ රිසානා නිදහස්වී ඇති බවකි. එහෙම කියන්නේ කලින් කී ඔල්මොරොන්දම් ගතිය නිසා නොව. ඈපිට තවමත් ලබගත නොහැකිවූ නිදහස ඇය ලබා ඇති හෙයිනි.

මේ පුවත අසා මට දුකක් දැනුනා කිවහොත් එය අමූලික බොරුවකි.මට නම් ඇය තවත් එක් නිව්ස් එකක් පමණි. මන්ද මා එය බොහෝ කල් සිට බලාපොරොත්තුවෙන් සිටි පුවතකි. ඇත්තටම මා වෙනුවෙන් වත් කිසිවක් කරගත නොහැකිව සිටින මට. ඇය වෙනුවෙන් යමක් කිරීමට සිතීමත් එදා මෙන්ම අදත් සිහිනයකි. රිසානා මේ කුරිරු සමාජයෙන් නිදහස්ව පිටව යෑම මට නම් කාලකන්නි නොවූ සතුටකි. දුක් වීමට ඇති එකම කරුන නම් ඇය අවසන් මොහොත තෙක්ම වරද කාරියක්ව සිට මියයෑමයි.
රිසානා අතින්, චෝදනාවල ඇති ආකාරයේ වරදක් සිදු වුනිදැයි මා නොදනිමි. නමුත් ඇය එක් පැත්තකින් වැරදිය. ඇයව හොර සහතික හදා බලහත්කාරයෙන් රට යැව්වා විය නොහැක. එසේ කරන තුරු ඇය අඳ, ගොලු, බිහිරි එකියක සේ සිටියා විය නොහැකියි. තමා මෙහෙකම් කල නිවසේ දරුවා මියයාමට රිසානා වරද කාරියක් වන්නේ එතැනය. නමුත් දුප්පත්කම මා හොදින් අත්දැක ඇති නිසා එලෙස රිසානා වරදකාරියක් කිරීම මගේ සිතට එකඟ නැත.

තම නිවසේ සේවයට විදේශයකින් පැමිනෙන කාන්තාවකගෙන් අරාබි යුවල බලාපොරොත්තු වූවේ පාසල් යන වයසේ දරුවෙකුගෙන් බලාපොරොත්තු වන සේවයක් නොවන බව සහතිකය. ඒ පිලිබද සිතීමේදි නම් රිසානා රට යැවීමට හවුල් සියලුම දෙනාට හෙන වැදිය යුතුයැයි සිතීම අසාධාරන නොවන්නේ අප කතා කරන්නේ එක ජීවිතයක් පිලිබදව පමණක් උවද මේ කතාවේ ජීවිත දෙකක්ම අහිමිව ඇති නිසාය. සියල්ල සිදුවූ පසු කාට හෝ වරද පටවා, බැනවැදි කෝපයෙන් රත්වුනු ලේ නිවා සිසිල් කරගැනීමට උත්සහ කිරීම නම් අනුවන කමකි.

රිසානා යනු තවත් එක් වීරවරියක් නොවේ, පුවත් මවන්නියක් පමණි. මන්ද මෙහෙකාර සේවයේ ගොස් පෙට්ටියෙන් වත් ගෙදර නොපැමිනි අය ඕනෑ තරම් අතීතයේ සිටී. නමුත් ඔව්න් අප මතකයෙන් ගිලිහී ඇත. ඔව්නුත් රිසානාත් අතර ඇති එකම වෙනස නම් රිසානා නීතියෙන් වරද කාරියක් වීමත් අනෙක් අය කැලෑ නීතියෙන් වරදකාරියන් වීමත් පමණකි.

ජීවිතය වරක් නොව, කිහිප වරක්ම වරදවාගත් මට එක දෙයක් මෙයට එකතු කල හැකිය. එනම් ජීවිතයෙ සිදුවන එකම වරදකින් තවත් වැරදි ගනනාවක් සිදුවේ. එය නැවතීමට සමතෙක් ලොව නැත. රිසානාගේ කතාවටද එය අදාලය.

තම දරුවාගේ මරනයට වගකිවයුතු උවත්, තවත් එවැනිම දරුවෙක් නේදැයි සිතා රිසානාට සමාව දීමට තරම් ඒ දෙමාපිය යුවලගේ හදවත් උනු නොවුනේ ඇයිදැයි මා නොදනිමි. නමුත් එය එලෙස සිදුවුනි නම්, අප සැම දෙනාටම එලෙස සිතන්නට හැකිවූවානම් මේ ලෝකය කෙතරම් ලස්සන වේවිද.

ප:ලි

සමාව දිය හැකි කිසිම වරදක් නැත.
සමාව දිය නොහැකි කිසිම වරදක්ද නැත.


ප:ප:ලි
ඊයෙ රෑ ලියූවත්, දුරකතනයේ ගැටලුවක් නිසා බ්ලොගර් වෙත මේල් කිරීමට නොහැකි විය.

Friday, January 4, 2013

මතක බැරි උනා

2012?

ඔව් ඉතින්. මං දන්නව.

ඇයි මොකක්ද වෙන්න ඕන?

ඉවරයි?

බොරු....

වෙන්න බෑ.

මොකක්?

කවද්ද?

ඊයෙ පෙරේද?

දැන් 13ද එතකොට.

හරි හරි මං මතක තියාගන්නම්.

එහෙනම් මං ගියා.

ඇයි?

ඉතින් දැන් හරිනෙ මං යන්නම්

එහෙමත් එකක්ද?

හරි කොහොමද දැන් මං සුබපතන්න ඕන.

ඒක අමරුයි නේද.

නෑ ට්යිප් කරන්න අමරුයි නේ.

මට නම් අදහස් එන්නෙ නෑ.

ඔව් මැසේජ් නම් දෙකතුනක් යැව්ව තමයි

නෑ ඒව යැව්වෙ "සේම් ටු යූ" කියල.

නෑ එයල එව්වහම තමයි මතක් උනේ.
ඔව්

මං එහෙම කිව්වද.

නෑ නෑ මට මතක තිබුන. ඒකනෙ 31 හොදටම බිව්වෙ.
ඉට පස්සෙ තමයි අමතක වෙන්න ඇත්තෙ.

මොකද නැත්තෙ.
ලගින්ම ඉන්න යාලුවන්ට මැසේජ් කරන්න හිතාගෙන ස්ටාර් පොයින්ට් 100කින් බිල ගෙව්ව.

නෑ.

මං කිව්වෙ, මට අමතක උනා.

බුකියෙද?

එක නන්ගියෙක් නම් මැසේජ් කරා.

නෑ කිව්වනෙ. මට අමතක උනා.

දැනට නම් මතකයි.

එව්ව කියන්න බෑ.

හරි හරි දැන් ඒක කරන්නම්.

¥කස්ටියටම සුබ නව වසරක් වේවා !¥

නෑ බොක්කෙන් නෙමෙයි පෙනහැල්ලෙන් කිව්වෙ. ඇයි යකෝ.

සැකද?

එහෙමත් ඕනද?
හරි හරි

¥සොරි හොදේ පරක්කු උනාට විශ් කරන්න.¥

හරි කිව්ව.

බොරුවක් කියමු.

එහෙනම්?

ඕන නෑ එයාල දන්නව මට ඕව ගානක් නෑ කියල.

මට බෑ.

අනේ, මල කෝලම්. මං යනව යන්න.

එහෙනම් කස්ටියටම අලුත් අවුරුද්ද සුබ වේවා. රජාගෙන් වත් රාජ සම්පත් ලැබේවා.
රාජ යෝග, ධන ලාබ, මංගල යෝග උදාවේවා.
ලෝක විනාශ සිදු නොවේවා.