Saturday, January 19, 2013

ඇගේ මරණය


මං කිලිනොච්චි ගිහින් නුවර ආවෙ ගිය මාසෙ 8 වෙනිද, ඇවිත් දවස් 3කට විතර පස්සෙ, කලින්ම අදුරවැටුන දවසක හවස හයයි තිහට විතර මගෙ පුද්ගලික දුරකතනයට නාදුනන අංකයකින් ඇමතුමක් ආව. හැමදාම වගේ කෝල් එනවට මගෙ හිතේ තියෙන්නෙ අකමැත්තක් නිසා කම්මැලිකමෙන්ම පෝන් එක කනේ තියාගත්ත. එහාපැත්තෙන් ඇහුනෙ ගෑල්ලමයෙක්ගෙ කටහඩක්.

හෙලෝ මල්ලී......

ඔව් කියන්න.....

මල්ලි මං අහවල් නැන්දගෙ දුව කතාකරන්නෙ....

මං ඒ නැන්දව දන්නව,ඒත් ජීවිත කාලෙටම වචන 20ක් විතර තමයි කතා කරල තියෙන්නෙ. එයා අපේ ගමට යන පාරෙ පොඩි සිල්ලර කඩයක් කරගෙන ජීවත් උනේ. කතා කරල නැති උනත් මං ඉස්කෝලෙ ගිහින් හැමදාමත් පයින්ම එන පාර අයිනෙ නැන්දගෙ කඩේ තිබුන නිසා නැන්ද මටත්, මං නැන්දටත් හැමදාමත් හිනා වෙනව. නැන්දගෙ මහත්තය ගැන නම් මං අද වෙනතුරු දන්නෙ නෑ. හොයන්න උවමනාවක් තිබ්බෙත් නෑ. ඒත් ගෑල්ලමයි දෙන්නෙක් එක්ක තනියම ජීවත් වෙන බව නම් දැනගෙන හිටිය. මෙ කතා කරන්නෙ ඒ නැන්දගෙ දැකල තිබුනත් කවදාවත් කතා කරල නැති දුව.

ඔව් අක්ක කියන්න....

මල්ලි, ඔයාලගෙ තාත්ත නම්බර් එක දුන්නෙ. අනේ මල්ලි අපේ අම්ම නවත්තල ඉන්නව 51 වෝඩ් එකේ. හවස කවුරුත් බලන්න ආවෙ නෑ. මල්ලිට බැරිද පොඩ්ඩක් ගිහින් බලන්න.....
අනේ මල්ලි ලොකු උදව්වක්....

හරි අක්කෙ මං බලල කෝල් එකක් දෙන්නම්....

ඇමතුම එතනින් අවසන් උනා. මං 7ට විතර 51 වාට්ටුව පැත්තට හෙමින් හෙමින් ගියා. අවේලාවෙ වාට්ටු වලට යන්න තියන අකමැත්තත් එක්ක. ගමනට වැඩි වේගයක් එකතු කරගන්න මට බැරි උනා. ඒත් අසරන උන වෙලාවක උදව්වක් කරන්න පුලුවන් නම් ඒක ගොඩක් වටින නිසාම මං ගියා. ගෑනුළමයි දෙන්නෙක් එක්ක තනි උන අම්ම කෙනෙක් නිසා මට ඒ නැන්දට උපකාරයක් කරන්නම ඕන කියල හිතුන. ලොකු අක්ක නම් වසර කිහිපයකට පෙර පොලිසියට බැදුන බව දැනගත්ත. අනිත් අක්කත් මොකක් හරි රස්සාවක් කලා.

සිතුවිලි අස්සෙන් මං 51ට ආව. 51 නුපුරුදු තැනක් නොවුනත් සිස්ට හැර වැඩි හිතවත්කමක් කාත් එක්කවත් තිබුනෙ නෑ. රැකියාව පැත්තෙන් නම් සිස්ට එක්ක එකතු වෙලා එක අවස්ථාවක නර්ස්ල කිහිප දෙනෙකුටම දොස් කියපු නිසා නර්ස්ල සමහරවිට මාත් එක්ක අමනාපයෙන් ඉන්නව වෙන්නත් පුලුවන්. නර්ස් කෙනෙක් ලගට ගිහින් මුලින්ම මං කව්ද කියල අදුන්වල,මිස් මගෙ නැන්ද නවත්තල ඉන්නව මේ වෝඩ් එකේ. මට එයාට පොඩ්ඩක් කතාකරන්න පුලුවන්ද.
අවේලාවෙ ගැහැනු වාට්ටුවක හැසිරෙන්න ඕන විදිහට මං කතා කරන්න උත්සහ කලා.
නර්ස් නැන්දගෙ නම අහගෙන ඉන්න ඇදත් පෙන්නල එයාගෙ වැඩකට ගියා.

ඒ නැන්ද ඒ වෙනකොටත් අඩනින්දක හිටියෙ. ඔලුවෙ ලොකු ප්ලාස්ටර් එක සැත්කමක් කරපු බව හිතන්න හේතුවක් උනා. මං ලගට ගිහාම නැන්ද මාව අදුරගත්ත. එතකොට එයාට නැගිටින්න බැරි උනත් හොඳට කතා කලා. අවුරුදු ගානක් තිස්සෙ මාව ගමේදි වැඩිය දකින්න නොලැබුනත් එයාට මාව මතක තිබ්බ. පුතා මේ දවස්වල යාපනේ කියල දුවට තාත්ත කියල තිබුන..... නැන්ද තමන්ගෙ අසනීපෙ ගැනත් මට මුල ඉදන් අගටම කිව්ව. ඉස්සර මං ඉස්කෝලෙ යනකොට දැක්ක ගැහැනියගෙ ශක්තිය ඇඟෙ නැතත්, වචන වල තිබුන.

නැන්දට මොනවද ඕන. කඩෙන් මොනව හරි ගෙනද්දෙන්නද?
හිස්අතින්ම ලෙඩෙක් බලන්න ආපු ලැජ්ජාව වහගන්නද මංද මං එහෙම ඇහුවෙ.

අනේ මොනව ගේන්නද පුතේ ආව එකම ඇති

නැන්ද දිවෙන් වේලුන තොල් තෙත් කරගෙන පුලුවන් නම් මට තේකක් හදල දෙන්න කියල කිව්වෙ පිපාසය උහුලගන්න බැරිම නිසා වෙන්නැති.

තේකක් හදල, නිමල චුට්ට චුට්ට පොවනකොට මට අම්මව මතක් උනා

තේක බීල අනේ පිංසිද්දවෙනව පුතේ කියනකොට, ඇස් වලට නාවත් හිතට කදුලු ආව. මං නැන්දගෙන් සමුඅරන් නර්ස්ටත් ස්තුති කියල එලියට ආවේ අර අක්කට ඇමතුමක් ගන්න ගමන්මයි.

අනේ මල්ලි අපි උදේ ආවහම දවලුත් අම්මව බලලයි එන්නෙ. හවස බලන්න හිටියොතින් ආපහු එන්න බස් නෑ. උදේටත් පාන්දර දෙකට තුනට ගෙදරින් එන්නෙ.

අක්ක කිව්වත් නැතත් මං ඒව දන්න නිසා, මගේ තීරනේ මං කිව්ව.

අක්කල උදේටයි දවල්ටයි ඇවිත් බලන්න, හැමදාම හවසට මං යන්නම්.

එදා ඉදන් මාසයක් විතරම නොවරදවාම මං ඒ නැන්ද බලන්න ගියා. පුලුවන්වුනු දවස් වල දවල්ටත් ගියා. මං උදේ පාන්දර 9ට විතර නැගිටින නිසා උදේට නම් බැරි උනා. අක්කලට හැමදාමත් විස්තර කිව්වා. යොගට් වලට, කඩෙන් ගේන සුප් වලට නැන්ද කැමති නිසා මං නිතරම ඒව ගිහින්දුන්න. අක්කල කොල් කරල හැමදාම කිව්වෙ මල්ලි සල්ලි වියදම් කරල මොනවත් ගෙනියන්න එපා කියල. නැන්දත් එහෙමම කිව්ව.අදටත් හිත රිද්දන තවත් වචනයක් කිව්ව. ඒ තමයි මං හොදවෙලා ගිහාම ** අයියට මේව ගෙවනව කියල. ඒ අපේ තාත්තට මං වියදම් කරපුව ගෙවනව කියලයි කිව්වෙ.
51 කියන්නෙ ස්නායු සම්බන්ද වාට්ටුවන්. මේකට එන ලෙඩ්ඩු ගැන මං දන්න නිසාත්. තවත් හිතට දැනුන වචන කරන්න බැරි හැගීමක් නිසාත් මං නිතරම නැන්ද කැමති දේවල්ම දෙන්න උත්සහ කළා.

කාලය ගෙවිල ගියා. නැන්ද තනියම වාඩිවෙන්න පුලුවන් තත්වයට සුව උනා. අපේ බාප්පගෙ දුවත් හෙද පුහුනුවේ ඒ වාට්ටුවෙම වැඩකලා.එයත් ගොඩක් උදව් කළා.

දින කිහිපයකට පෙර නැන්දට උන හැදුන.කෑම බීම වර්ජනය කළා. දියර ආහාර දෙන්න නහයෙන් දාන බටය මං බලාඉද්දිම එයා ඇදල දැම්ම. ඊලග දවසෙ මං යනකොට නැන්දගෙ අත්දෙක ගැටගහල තිබුන. එයා අසිහියෙන් දැගලුව. මට යමක් සිදුවීමට යන බව දැනුනත් කලහැකි දෙයක් තිබුනෙ නෑ. පසුදා ඇයව එම වාට්ටුවේම දැඩිසත්කාර ලබාදෙන කොටසට ඇතුල් කලා. එදා රාත්‍රිය ඇය මෙලොව ගතකල අවසන් රැය උනා. පසුදා උදෑසන නැන්දා මෙලොව හැරගොස් තිබුනා.

ඕනෑ තරම් අවස්ථාව තිබුනත් ඇයගේ මළසිරුර බැලීම මා හිතාමතාම මගහැරියා.

 දින තුනක් ගතවන විටත්, ඇය ජීවිතයේ අවසන් දින කිහිපය මට මෙතරම් සමීප වීමත්, තවමත් ඇය මියගිය බව මට ඇතැම් වෙලාවල් වලදී අමතක වීමත් තේරුම්ගත නොහැකිව මේ සටහන ලියා තැබීමට සිතුවා

20 comments:

  1. බොහොම අනුවේදනීය කතාවක් දේශ්.. ඇත්තටම මාත් සමීපතමයන් මිය ගිය විට මල සිරුර බලන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. මිනිය බැලුව නම් ඇගේ මුහුන හැමවෙලාවෙම මැවි මැවි පේන එක නවත්වන්න බැරි බව මම දැනගෙන හිටිය.

      Delete
  2. හරිම සංවේදී සිදුවීමක්. පහුගිය දවස්වල මගේ ඥාති සහෝදරියකටත් ඔළුවේ සැත්කමක් කරලා තියෙද්දී මම එයා ලඟ නැවතිලා උන්නා. ඒ වෙලාවෙදී හිතට දැනුන හැඟීම මේ මොහොතෙත් මගෙ හිතට දැනුනා...

    ඇයට නිවන් සුව ලැබේවා !

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒ හැගීම් වචන වලට පෙරලන්න බෑ ළිහිණි.

      Delete
  3. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් නේ ..කාලයක් යනකන් ඔය දේ හිතට වද දේවි !ඒ නැන්දාට නිවන් සුව පතමි !
    :)

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි, දැන් නම් හිත ගොඩක් නිදහස් වෙලා.

      Delete
  4. හ්ම්ම්ම්.... අනේ මන්දා මොනා කියන්නද කියලා.... අපි හැමෝටම කවද හරි දවසක මේ දේට මුන දෙන්නම වෙනවනේ..... කොච්චර දුකක් වුනත්.... කොච්චර හඩා වැලපුනත්.....

    අර බුදුහාමුදුරුවොත් කියල තියෙන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම නිසා අපි මේ සංසාරයේ අඩපු කදුළු එකතු කලොත් මේ මහා සාගරයටත් වඩා වැඩියි කියලා.....

    ඒ නැන්දට නිවන් සුව පතනවා!

    ReplyDelete
    Replies
    1. මැරුණ කෙනෙක් වෙනුවෙන් අඩන එක නම් මෝඩකමක්. ඒත් මේ මරණෙ නම් මගෙ හිතට ගොඩාක් දැනුන. එතකොට තමයි මිනිස්සු එහෙම අඩන එක සාධාරනයි කියල හිතුනෙ.

      Delete
  5. ඇත්තටම දුක හිතෙන කතාවක් දේශ් ...

    ReplyDelete
    Replies
    1. jeevitha kaaledi wediyenma denenne dukane.

      Delete
  6. සංවේදී කතාවක් දේශ්.....

    අපි ඒ නැන්දට නිවන් සුව පතමු...!!!

    ReplyDelete
  7. උණ රෝගය උත්සන්න උනාම අවසිහියෙන් දගලනවා...මැලේරියාව උත්සන්න වෙලා ඔය වගේ අවසිහියෙන් මරණයේ කටටම ගිය මගේ පියාව 98 දි බේරාගත්ත සිද්ධිය තමයි මට මතක් වුනේ. අනුවේදනීය කථාවක්...

    ReplyDelete
    Replies
    1. පියා වගේම සිරත් වාසනාවන්තයි...

      Delete
  8. හ්ම්ම්.නෑදෑයිංව යාළුවන්ව, යාලුවංගේ යාලුවංව බලන්ඩ් වෝඩ් ගානේ යන එක තමයි මචං මගෙත් ජීවිතේ.මිනිස්සු ළං වෙනවා.ඈත් වෙනවා.

    ReplyDelete
    Replies

    1. ඇත්තටම අපි ඒක ලොකුවට හිතුවෙ නැති උනාට ඒ මිනිස්සුන්ට ලොකු දෙයක් මචො. එහෙම උදවු කරහම පිං දෙන තරමින්ම ඒක තේරෙනව. පුලුවන් උපරිමයෙන්ම කරමු මචො.

      Delete
  9. මේවා නං බං හිතට වදිනව වැඩියි. නිවන් සුව පතමු. උඹේ හිතත් නිදහස් වෙන්න කියල පතනවා...

    ReplyDelete
    Replies

    1. දැන් නම් හිත නිදහස් දේශා. නිවාඩුවට ගමේ ගිහාම ආයෙත් මතක් වෙයි.

      Delete
  10. හරිම සංවේදී කතාවක්! ඒත් දේශ්, නැන්දා ජීවතුන් අතර ඉඳිද්දි තමන්ට හැකි උපරිමයෙන් කළ සියලු සැලකිලි මොනතරම් වටිනවද. එහෙම හිතලා හිත හදාගන්න බැරිවුණත්, තමන් යුතුනම් ඉටු කරා කියන සිතුවිල්ල දේශ්ගෙ රිදුණු අනිවාර්යයෙන්ම සහනයක් වේවි. ඒ නැන්දට නිවන් සුව පතමු!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම, මං පුලුවන් උපරිමය කරපු නිසා හිතට සැනසිල්ලක්

      Delete

ලියන්නකො බලන්න